Breaking News
recent

හැමෝම යන්න කැමති දිව්‍ය ලෝක ගැන දැනගන්න .



       
අප කරන සෑම කුසල කර්මයකම අවසාන පැතුම වන්නේ දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිර්වාණය දැකීම ය. අප සැවොම අඩුවැඩි වශයෙන් මිනිස් සැප ලබා ඇත. නිර්වාණය දැකීම මොහොතකට සිතා ගැනීමටත් අපහසු ය. එම නිසා යන්න ඉන්න දිව්‍ය ලෝකය ගැන දැන ගැනීමත් එහි ඇති සැප සම්පත් ගැන දැන ගැනීමත් ඉතා වටින්නේය.


දිව්‍ය ලෝක කොතනක තිබේ දැයි අපි හරියටම නොදනිමු. දිව්‍ය ලෝක ගැන බුදුරජාණන් වහන්සේ මජ්ජම නිකායේ ධනඤජානි සූත්‍රයෙහි දේශනා කර ඇත. ඒ අනුව දිව්‍ය ලෝක හයක් තිබේ. චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරති හා පරනිම්මිත වසවර්තිය ඒ දිව්‍ය ලෝක හයයි.

සුඛෝපභෝගී හෝටල් ඒවායේ පවත්නා සැප පහසුකම් අනුව තරු ගණනින් වර්ගකර ඇතිවා සේම මෙම දිව්‍ය ලෝකද එම ලෝකවල ඇති සැප සම්පත් ප්‍රමාණය අනුව වර්ග කර ඇත. ඒ අනුව අඩුම සැප සම්පත් ඇති චාතුර්මහාරාජිකය පහළින්ම ඇත. ඊළඟට අනුපිළිවෙලින් තාවතිංස, යාම, තුසිත, නිම්මානරති හා පරනිම්මිත වසවර්ති යන දිව්‍ය ලෝක ඇත.

දිව්‍ය ලෝකයේ තිබෙන සැප සම්පත් ප්‍රමාණය අසීමිතය. ඒ බව බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ දේශනා කර ඇති බාලපණ්ඩිත සූත්‍රයේ සඳහන් කර ඇත. සැප සම්පත් ප්‍රමාණය කෙතරම් ද යත් ඒ ගැන උපමාවක් පවා කීමට නොහැකි බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. එක් භික්ෂුන් වහන්සේ නමකගේ නැවත නැවත කරන ලද ඉල්ලීමකට පසු උන්වහනසේ ඒ සැප සම්පත් හා සසඳන කල සක්විති රජකු විඳින සැප සම්පත් වැලි ඇටයකටත් වඩා කුඩා බව වදාළ සේක. ඒ අනුව සෑම පුණ්‍ය කර්මයකට පසුව අප දිව්‍ය සම්පත් පැතීම අරුමයක් නොවේ.

දිව්‍ය ලෝකයේ ආයුෂ ප්‍රමාණය ද මනුෂ්‍යයකුගේ ආයුෂ ප්‍රමාණයට වඩා අති විශාලය. එයද කලින් සඳහන් කළ ආකාරයට සැප සම්පත් අනුපිළිවෙළට වැඩිවේ. අඩුම ආයුෂ ඇත්තේ චාතුර්මහාරාජිකයේය. එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු අනූ ලක්ෂයකි. තාවතිංසයේ අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයකි. යාමයේ දාහතර කෝටි හතලිස් ලක්ෂයකි. තුසිතයේ අවුරුදු පනස් හත් කෝටි හැට ලක්ෂයකි. නිම්මානරතියේ අවුරුදු දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයකි.

පරනිම්මිත වසවර්තියේ අවුරුදු නවසිය විසිඑක් කෝටි හැට ලක්ෂයකි. මේ ආයුෂ සම්බන්ධයෙන් සිත් ඇදගන්නා කතාවක් තිබේ. වරක් දිව්‍යාංගනාවන් රැසක් දිව්‍ය ලෝකයේ උද්‍යානයක උයන් කෙළියෙහි යෙදී සිටියෝය. හදිසියේම ඉන් එක් දිව්‍යාංගනාවක් අතුරුදන් වූවාය. අනෙක් දිව්‍යාංගනාවන් ඇය සැම තැනකම සෙවූ මුත් සවස් වනතුරුම සොයා ගැනීමට නොහැකි විය. හදිසියේම සවස ඇය පැමිණියාය. විමතියට පත් යෙහෙළියෝ ඇය කොහේ ගියාදැයි විමසුවෝය.

ඇය මියගොස් මනුලොව ඉපදී, විවාහවී, දූදරුවන් පමණක් නොව මුනුබුරු, මිණිබිරියන් ද ලැබ අවුරුදු 96 ක් ආයු වළඳා මියගොස් නැවත දිව්‍ය ලෝකයේ උපන් බව ඇය කීවාය. අපේ ලෝකයේ අවුරුදු සියයකට ආසන්න ගණනක් දිව්‍ය ලෝකයේ පැය කිහිපයක් බව මෙයින් පැහැදිලි වේ.

චාතුර්මහාරාජිකය

දිව්‍ය ලෝකවලින් පහළම දිව්‍ය ලෝකය චාතුර්මහාරාජිකය වේ. මෙහි නියම අධිපතියා ශක්‍රයාය. එහෙත් කාමාවචර දෙව්වරුන් සතර දෙනකු මගින් පාලනය කරන නිසා මෙම දිව්‍ය ලෝකය මෙනමින් හැඳින්වේ. සතර වරම් දෙවිවරුන් ලෙස හැඳින්වෙන්නේ මොවුන් ය.

පූර්ව දිසාවට අධිපති ධනරට්ඨ, දක්ෂිණ දිශාවට අධිපති විරුළ්හක, පශ්චිම දිශාවට අධිපති විරූපක්ඛ සහ උතුරු දිශාවට අධිපති කුවේර මේ සතර දෙනාය. මෙම සතර දෙනා මනුලොව දෙස බලා මිනිසුන්ගේ කුසල් අකුසල් සොයා බලා රන්පත්වල ලියා ශක්‍රයා ප්‍රධාන දේව සභාවට ඉදිරිපත් කරනු ලබන බව කියනු ලැබේ. දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වාසය කරන්නේද චාතුර්මහාරාජිකයේ ය.

තාවතිංසය (තව්තිසා)

මෙය චාතුර්මහාරාජිකයට උඩින් පිහිටියේ ය. ශක්‍රයා මෙහිද අධිපති ධුරය දරනු ලබයි. ශක්‍රයාට දෙදෙව් ලොව අධිපති යැයි කියන්නේ මෙම ලෝක දෙකටම අධිපති නිසාය. තව්තිසා නමින්ද හඳුන්වයි. බුදුරජාණන් වහන්සේට වඩාත් සම්බන්ධතාවක් තිබෙන්නේ මෙම දිව්‍ය ලෝකයටය. උන්වහන්සේගේ මව්තුමිය වූ මහාමායා දේවිය මරණින් පසු දිව්‍යාංගනාවක්ව සිටින්නේ මෙම දිව්‍ය ලෝකයේ ය. එම නිසා මව්තුමියට ධර්මය දේශනා කිරිමට උන්වහන්සේට වැඩම කිරීමට සිදුවූයේ තව්තිසා දිව්‍ය ලෝකයටය.

එසේම බුදුරජාණන් වහන්සේ එහි පුරා මාස 3 ක්ම දෙව්වරුන්ට ධර්මය දේශනා කරමින් එහි වැඩ සිටියේ ය. එසේම නන්ද තෙරුන්ට ජනපද කල්‍යාණියට වඩා රූමත් දෙවඟනන් සිටින බව පෙන්වීමට ඔහුව රැගෙන ගියේද මෙම දිව්‍ය ලෝකයටය. ඔබ තව්තිසා දිව්‍ය ලෝකයේ දෙවියන් දැක නැතිනම් ලිච්ඡවි රජවරුන් දෙස බලන්නැයි වරක් බුදුරජුන් භික්ෂුන්ට දේශනා කළේ මෙහි සිටිනා දෙවිවරුන් ලිච්චවි රජවරුන් මෙන් රූමත් නිසාය. සුධර්මා නම් දිව්‍ය ශාලාව පිහිටා තිබෙන්නේත් මෙම දිව්‍ය ලෝකයේය.

චිත්‍රලතා නම් වනය, නන්දන වනයද පිහිටා ඇත්තේ තාවතිංස දිව්‍ය ලෝකයේ ය. ශක්‍රයාගේ වෛජයන්ත මාලිගයද පරසතු රුකද, තාවතිංසයේ පිහිටා ඇත. එම පරසතු රුක පාමුල පාණ්ඩුකම්බල ශෛලාසනය පිහිටා ඇත.

යාම

තුන්වන දිව්‍ය ලෝකයයි. සුසාම නම් දෙවියා මෙහි අධිපති ධුරය දරයි.

තුසිත

සතර වැනි දිව්‍ය ලෝකයයි. මෙහි අධිපතියා සන්තුසිත දිව්‍ය රාජයාය. ඔහු හැම අතින්ම අනෙක් දෙවිවරුනට වඩා උසස් වන දෙවියෙකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පතා මනුලොව ඉපදීමට පෙර සිටියේ තුසිත දිව්‍ය ලෝකයේ ය. සාමාන්‍යයෙන් සකෘදාගාමී ඵලයට පැමිණි පුද්ගලයෝ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදෙති. අනාත පිණ්ඩිත සිටුතුමාද මරණින් පසු දැනට දෙවියෙක්ව ඉපිද සිටින්නේ ද තුසිත දිව්‍ය ලෝකයේය. මෙහිදීද එම දිව්‍ය රාජයාව හඳුන්වන්නේ පිණ්ඩික නමිනි.

නිම්මානරති

පස්වැනි දිව්‍ය ලෝකයයි මෙහි සිටින දෙවිවරුන් මනාපාදොවා නමින් හඳුන්වනු ලැබේ. ඒ ඔවුන්ට කැමැති ආකාරයට සැප සම්පත් මවාගෙන සැප විඳීමට හැකි නිසාය. සැප සම්පත් පමණක් නොව තමාට කැමති රූපයද මවා ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. මෙහි අධිපතියා වැඩි ප්‍රසිද්ධියක් නැති සුනිම්මිත නම් දිව්‍ය රාජයාය.

පරනිම්මිත වසවත්ති

සයවන දිව්‍ය ලෝකයයි. මෙහි අධිපතියා වසවර්ති දිව්‍ය පුත්‍රයාය. නමුත් ඔහු අප හැමෝම අකමැති අපව බියගන්වන වසවර්ති මාරයා නොවේ. මෙහි දෙවිවරුන්ට නිම්මානරති දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මෙන් තමා කැමැති කැමැති සැප සම්පත් මවාගත නොහැකි අතර ඔවුන් විඳින්නේ අනුන් මවාදුන් සැප සම්පත්ය.

දිව්‍ය ලෝකයේ යෑමට කළ යුතු කුසල්

තුණුරුවන් සරණ යෑම, දැහැමි දිවි පෙවතකින් යුක්ත වීම, දන්දීම, මල්, පහන් පූජා කිරීම, පරාර්ථකාමීව සේවය කිරීම ආදී පින් කිරීම දෙව්ලොව යෑමට මඟ පාදන කුසල් වේ. සකස්කොට දන්දීම, සකස් නොකොට දන්දීමට වඩා ආනිසංස බව දැක්වෙන අතර, එය දෙව් ලොව යෑමට හේතුවක් වේ.

පායාසි නම් රජතුමා සකස් නොකොට දන්දී පහත් දිව්‍ය ලෝකයක් වූ චාතුර්මහාරාජිකයේත් එම දානයම සකස් කොට දන්දුන් ඇමැතිවරයා තව්තිසා දිව්‍ය ලෝකයේත් උපන් බව දීඝනිකායේ එන පායාසි රාජඤ්ඤ සූත්‍රයේ දැක්වේ.

එක්තරා මැඩියකු ඉතාම ශ්‍රද්්ධාවෙන් බුදුරජාණන් වහන්සේ චම්පා නුවර ගග්ගරා නම් පොකුණ අසබඩ සිට දේශනා කරන ලද බණකට කන්දෙමින් සිටියදී බණ අසමින් සිටි ගොපල්ලකුගේ සැරයටිය තෙරපී මියගොස් දිව්‍ය ලෝකයේ උපන් බව සඳහන් වේ.

මණ්ඩුක දිව්‍ය රාජයා නමින් හඳුන්වන්නේ ;දව්ලොව ගිය මෙම මැඩියාය. බරණැස් නුවර වාසය කළ නන්දීය නම් කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදී නිතර නිතර දන් දී එයිනුදු නොනැවතී දාන ශාලාවක් කරවා මහ සඟනට පූජා කිරීමේ පිනින් දිව්‍ය ලෝකයේ උපන් බවත්, මේ සඳහා තම සැමියාට කිසිදු උදව්වක් නොකළ ඔහුගේ බිරිඳ අපායේ ඉපදුන බවත් බුදුදහමේ සඳහන් වේ.

ඉතාමත් දුගී ඉන්දක නම් පුරුෂයෙක් පිඩුසිඟා වඩින අනුරුද්ධ මහ තෙරුන්ට සැදැහැ සිතින් එක බත් හැන්දක් පූජා කොට එම පිනින් තව්තිසා දෙව් ලොව මහානුභාවසම්පන්න දෙවියෙක්ව උපන්නේය. එම නිසා දෙව් ලොව යන ප්‍රධාන මාර්ගයක් ලෙස දන්දීම දැක්විය හැක.



ධර්ම දානය උදෙසා මේ තොරතුරු හිතවතුන් අතර බෙදාහරින්න .!!!!!!

No comments:

Powered by Blogger.