ලොව මතු බුදුවන මෛත්‍රී බුදුන් උදෙසා පහනක් දල්වමු .
බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් සම්මා සම්බුද්ධත්වය පතා පාරමී දම් පුරන්නේ බෝසත්වරුන්ය. බෝධි නම් බුද්ධත්වය ලැබීම ය. එනම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමය. සත්ත්ව යන වචනය ත්‍රිපිටකයේ විග්‍රහ කෙරෙන්නේ සංසාරයට ඇලුණු පුද්ගලයා යනුවෙනි. බෝධිසත්ත්ව නම් බුද්ධත්වය ලබාගැනීම සඳහා ඇලුණු පුද්ගලයා ය. (බුද්ධත්වය ලැබීම උදෙසා පෙරුම් පුරන කාලය අනුව බෝසත්වරු තුන් ආකාරයකට වර්ග කෙරේ. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික හා වීර්යාධික බුදුවරු ලෙස ය.
බෝසත්වරු ලොව පැවැත්මට විරුද්ධව විශාල සටනක් ගෙනයති. පැවැත්මෙන් ගැලවීම සඳහා විශාල විප්ලවයක් කරති. කුසල් දහම් රැස් කරති. උන්වහන්සේගේ ස්වභාවය එයයි. මේ පින්දහම් සිදු කැරෙන්නේ එකම අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ය. ඒ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයයි. වෙන කිසිදු භෞතික බලාපොරොත්තුවක් නැත. එසේ කුසල් දහම් වඩමින් පාරමී පුරන බෝසත්වරු කරුණාව සහ ප්‍රඥාව වර්ධනය කරමින් සංසාරයේ ගමන් කරති.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පතා පාරමී දම් පුරන එක් ආත්ම භවයක වඳුරකු වී උපත ලැබූහ. දිනක් මහා වනාන්තරයේ මං මුළාවී පාර සොයා ගත නො හී තැවෙන මිනිසකු දැක පිහිටට එන්නේ අත්තෙන් අත්තට පනිමින් වනයෙන් එළියට එන මං පෙන්වන්නේ ය. එසේ යන අතර ගම්මානයක් දුටු තැන මේ මිනිසා
“මට දින ගණනකින් කුසට නිසි අහරක් නො ලැබුණේ ය. කුස ගින්න ද අධික ය. මඟ සොයා ගැනීම ද දැන් ගැටලුවක් නොවන්නේ ය. මේ වඳුරා මරා මස් අනුභව කරන්නෙමි” යි සිතන්නේ ය. ඒ සැණින් ම අසලින් තිබූ විශාල ගලක් ගෙන වඳුරා ගේ හිස මත හෙළන්නේ වඳුරා ගේ හිසෙන් රුධිරය වෑහෙන්නේ ය.
“මා මිය ගියේ නම් මේ මිනිසා නැවතත් වනයෙහි ම මං මුළා වන්නේ ය.” යි සිතූ වඳුරා එක පාදයකින් රුධිරය ගලන තුවාලය වසා අනෙක් පාද තුනෙන් පැන පැන යමින් නැවත ද මඟ පෙන්වන්නේ ය.
සාමාන්‍ය මිනිසකු වෙත හෝ සාමාන්‍ය වඳුරකු වෙත මෙවන් කරුණාවක් තිබිය නො හැකි ය. එවන් කරුණාවකින් යුතු වන්නේ බෝසත් වරුම ය. එසේ ම සාමාන්‍ය මිනිසුන් කෙරෙහි නො වූ මහා ප්‍රඥාවක් ද උන්වහන්සේ කෙරෙහි වේ. උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පණ්ඩිතයන් ගේ චරිතය ඒ සඳහා නිදසුන් කරගත හැකි ය.
බෝසත්වරු බොරු නොකීම සහ කෘතවේදී බව යන ගුණාංගයන්ගෙන් ද පරිපූර්ණ ය. බුද්ධත්වය ලැබීම සඳහා නියත විවරණ ලැබූ දින පටන් නිර්වාණය දක්වා ම උන්වහන්සේ බොරු නොකියති. ජීවිතය නැති වී ගිය ද සත්‍ය ම පවසති.
එක් අවස්ථාවක අප මහා බෝසතාණන් වහන්සේ තාපසයකු ලෙස උපත ලැබූ හ. බණ භාවනා කරමින් ධ්‍යාන සමාපත්ති උපදවාගත් හ. කලක් රජ මැදුරෙහි උයනෙහි වාසය කරන්නේ එරට රජු ගේ අග බිසව උන්වහන්සේ වෙත දන් පිළිගන්වන්නී ය. තාපසයා සහ අග බිසව අතර හිතවත් කමක් ගොඩනැඟෙන්නේ මහ රජුට ද ඒ පුවත සැලවන්නේ ය. තාපසයා වෙත පැමිණි රජු
“තාපසතුමනි, නුවර වැසියන් මෙසේ පවසන්නේ ය. එය සත්‍යයක් දැයි” පුවත සැලකර විමසන්නේ ය.
“එසේ ය රජතුමනි. එය සත්‍යයකි.” තාපසයා ද නොපැකිළිව පිළිතුරු දුන්නේ ය.
“තාපසතුමනි, මම මේ රටේ මහරජු. එක කඩු පහරින් ඔබ වහන්සේ මරා දැමිය හැකි ය. එසේ තිබිය දී වුව ද බොරු නොකියන්නේ ඇයි?”
“ඔබ කැමැති නම් මා මරා දමන්න. එහෙත් බොරු නොකියමි” යි තාපසයා පිළිතුරු දෙන්නේ ය.
තාපසයාට තමන් වහන්සේ කැමැති කලක් කැමැති ආකාරයෙන් මෙ උයනෙහි ම වැඩ වාසය කරන ලෙස දැන්වූ රජු නැවත රජ මැඳුරට පැමිණෙන්නේ ය. අනවශ්‍ය තැන්වල සිටීම නිසා මෙවැනි කරදර සිදුවන බව සිතූ තාපස තෙමේ එඋයනින් පිටවූයේ ය.
සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ නම් තාපසව ඉපිද දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් පළමු වරට නියත විවරණ ලැබූහ. එතැන් පටන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පාරමී දම් පුරා ප්‍රඥාධික බුදුවරයකු ලෙස ලොව පහළ වූහ. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පස්නමක් ලොව පහළවෙති. ඉන් බුදුවරු සිවු නමක් පහළ වී අවසන් ය.
අනාගතයේ ලොව පහලවන්නේ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ය. මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළමු විවරණය ලැබ බුද්ධත්වය පතා පාරමී පුරමින් පැමිණි ඒ මෛත්‍රි බෝසතාණෝ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතිනි.
බුදුරජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කරන්නේ තව්තිසා දෙව්ලොව ය. වස් තුන් මස අවසානයේ සංකස්ස පුරයට වැඩම කරන්නා හ. දේවාවරෝහණ උත්සවය ලෙස නම් කැරෙන ඒ උත්සව දිනයේ සංකස්ස පුරයට රැස්වූ ජනයා අතර මෙත් බෝසතාණෝ ද වූහ. සංකස්ස පුරයේ සිරිවඩ්ඪ නම් මහ කෙළඹි පුත්‍රයකු ව ඉපිද සිටි මෙත් බෝසතාණන් වහන්සේ බුදු හිමියන් හා සැරියුත් මහ රහතන්වහන්සේ අතර වූ විචිත්‍ර දහම් කතිකාව ශ්‍රවණය කිරීමෙන් පසු දහසක් පිරිවර සමඟින් පැවිදි උපසම්පදාව ලැබූහ. විචිත්‍ර ධර්මදේශනාවන් හි යෙදෙමින් පැවැදි දිවිය ගත කරන උන්වහන්සේ ආර්ය මෛත්‍රී බෝසත් භික්ෂු තෙම තමාට පුදනු ලැබූ වටිනා සිවුරු දෙකකින් බුදු හිමියන් වැඩ සිටි ගන්ධ කුටියේ වියන සකස් කර පූජා කරති. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව දක්වමින් මෙසේ දේශනා කළහ.
“මහණෙනි. උතුම් වස්තු යුගලයකින් වියනක් කර බුදුන් පිදු මේ භික්‍ෂුව දෙස බලව. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රිය නම් සම්මා සම්බුදු වන්නේ ය. එකල මෙම බරණැස කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. එහි සංඛ නම් සක්විති රජු කෙනෙක් වන්නේ ය. ඔහු පුරෝහිත සුබ්‍රහ් ම නම් බමුණා මෛත්‍රිය බුදුන් ගේ පියා වන්නේ ය. ඔහු ගේ භාර්යාව වූ බ්‍රහ්මවතී බැමිණිය මව වන්නී ය. නා රුක ඒ බුදුහු ගේ බෝරුක වන්නේ’යැයි නියත විවරණ දුන්හ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහලවීම පිළිබඳ දේශනා කරන්නේ කිඹුල්වත්පුර ගමනේ දී ය. සැරියුත් මහ රහතන් වහන්සේ ගේ ආරාධනයෙන් මේ අනාගත වංශය හෙවත් මෙත් බුදු සිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය අන්තර්ධාන වීමෙන් පසුව මේ ලොව වාසය කරන මිනිස්සු ගුණධර්මවලින් පිරිහී යති. ඒ නිසාම ඔවුන් ගේ ආයුෂ අවුරුදු දහය දක්වා අඩුවේ. බුදුවරයෙක් ලොව පහළ වන්නේ අවුරුදු එකසිය විස්සත් අවුරුදු ලක්‍ෂයත් අතර ආයුෂ ඇති කාලයක පමණි. මිනිසුන් දස අකුසලින් පෝෂණය වන නිසා ම අවුරුදු දහය දක්වා ආයුෂ පිරිහේ. මේ කාලයේ දී මිනිසුන් අතර මෘග සංඥා පහළ වේ.
ගනිව්, කොටව්, මරව් ආදී බස් ඇත්තේ ඔවුනොවුන් මරා ගනිති. සෑම මනුෂ්‍යයකුට ම තවත් මනුෂ්‍යයකු පෙනෙන්නේ පරණ ලා පත් සේ සියුම් කඩුපත් ලෙසිනි. එකල වෙසෙන නුවණැති මිනිසුන් මේ විනාශය අසා ලෝක විනාශය පැමිණ ඇති බව දැන සතියකට පමණ සෑහෙන ආහාර ද ගෙන කිසිවකු ගේ නෙත නොගැටෙනසේ වන ලැහැබ්, ගල්ගුහා අතර සැඟවෙති. එසේ සැඟවුණු පිරිස් හැර සෙසු සත්ත්වයෝ ඔවුනොවුන් අතින් මැරුම් කා ජීවිතය අවසන් කරති. ඉතිරි වු පිරිස් පැමිණ මේ ව්‍යසනයට හේතු විමසා පස් පව් දස අකුසලයෙන් මිදෙති.
ඒ නිසාම ඔවුන්ගෙන් පසුව එන පරම්පරාව විසි අවුරුදු ආයුෂ ලබන්නේ ය. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වී අවුරුදු අසංඛ්‍යෙය දක්වාම දීර්ඝායුෂ වර්ධනය වේ. ඉන්පසු නැවතත් මිනිසුන් ගුණ ධර්මවලින් දුරස් වන්නට පටන් ගනී. ආයුෂ ක්‍රම ක්‍රමයෙන් අඩුවී අවුරුදු අසූ දහස දක්වා පැමිණි කාලයේ දී මේ මහා භද්‍ර කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලොවට පහළ වෙති.
ඒ මෙත් බෝසතාණෝ තුසිත දිව්‍ය භවනෙහි අනාගත මෙතේ බුදුන් ලෙස ලොව පහළවීමේ අපේක්‍ෂාවෙන් වැඩ වැසෙති. ඒ වන විට කේතුමතී නම් සියලු සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය වු රාජධානි පහළ වේ. ඒ සංඛ නම් සක්විති රජු පාලනය කරන සමයයි. ගිහිගෙයි අවුරුදු දහඅට දහසක් මුළුල්ලෙහි වාසය කරන මෙත් බෝසතුන් තම අග බිසව බ්‍රහ්ම වර්ධන නම් පුත් කුමරු බිහි කරන දිනයේ සතර පෙර නිමිති දැක මහභිනික්මන් කිරීමට තීරණය කරති. පැවිදි බවට සුදුසු පරිදි යම් දුකක් අනුභව කරමින් සතියක් මුළුල්ලේ ඊට සූදානම් වන බෝසතාණන් දෙව්, බඹු, මිනිසුන් කෝටි ගණන් පිරිවරා පැවැදිව චන්ද්‍රමුඛී අග බිසව විසින් පුදනු ලබන මේ කිරිපිඬු බත වළඳා නාග ශ්‍රී බෝධි මූලයට පැමිණෙති. එහිදී චතුරාග සමන්නාගත වීර්්‍යයෙන් යුතුව වජ්‍රාසනයහි වැඩ සිටින්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නාහ.
මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක වන්නේ අසෝක සහ බ්‍රහ්ම දේව යන මහතෙරුන් වහන්සේය. සීහ නම් තෙරුන් ධර්ම භාණ්ඩාගාරික මෙන්ම උග්‍ර උපස්ථායක ද වෙති. මෛත්‍රී බුදු හිමියන් ගේ බුද්ධකාය රියන් අසූ අටකි. ආයුෂ කාලය අවුරදු අසූ දහසකි. යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක් පහනක්, එක බත් පිඬක් පමණ ප්‍රමාණයේ සිට දානාදී පිංකම් සිදුකළ පිරිස් මෛත්‍රී බුදුන් දැකීමට භාග්‍යවන්තයෝ වෙති. ආනන්තරීය පාප කර්ම කළ අය, මිථ්‍යා දෘෂ්ඨික පුද්ගලයන්, ප්‍රේත, අසුර ආදී ආත්මභාව ලැබූවන්, තුණුරුවන් සතු දේ පැහැර ප්‍රයෝජනයට ගන්නා පිරිස් ඒ මෛත්‍රී බුදුන් දැකීමට භාග්‍යවන්තයෝ නොවෙති.
විද්‍යාවේදී පූජනීය පිටිදූවේ සිරිධම්ම හිමි.
ධර්ම දානය උදෙසා මේ තොරතුරු හිතවතුන් අතර බෙදා හරින්න .

No comments: