Breaking News
recent

සිත හඳුනාගන්න

      
            සියලු දේට සිත මුල්වන බැව් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අපිරිසුදු සිතින් සිදුකරන සෑම ක්‍රියාවක් නිසාම දුක හට ගනී. පිරිසුදු සිතින් කරන සෑම ක්‍රියාවක් නිසාම සැනසීම ඇතිවේ.



අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් යුතුව හතළිස්පස් වසරක් පුරා ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. එහි හරය සිත දමනය කළ යුතුය යන්නයි. සිත යනු ලෝකයයි. ලෝකය යනු සිතයි. සිත නිසාම ලෝකය පවතී. සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරය. ආගන්තුක කෙලෙස් නිසා සිත අපිරිසුදු වී තිබේ. සසර ගමනේදී රැස්කර ගත් කෙලෙස් අනුශය වශයෙන් සිතේ පවතී.

කෙලෙස් ඉස්මතු වන විට සිත කය වචනය ඊඩ අනුරූපව ක්‍රියාත්මක වීමට පටන් ගනී. මේ නිසා ඉපදුන සත්ත්වයා දුකේ ඇලී ගැලී දුකෙහිම බැසගෙන සිටී. සිත අතෘප්තිකරය. කිසි විටකත් තෘප්තියට පත්කළ හැකි නොවේ. යම්කිසි මොහොතක සිත තෘප්තියට පත්වුවද ඉන්පසු ඊටත් වඩා ඉහළ තෘප්තියක් අපේක්‍ෂා කිරීම සිතේ ස්වභාවයයි. සිත රැස්කරන දෙයින් සිතම දුකට විඩාවට පත් වේ. සිත නොඇලී නොගැටී සිටීමට නොදනී.

නිරතුරුව ඇලෙන්නට ගැටෙන්නට යමක් සොයමින් සිටී. ඇත්තෙන්ම සිත ක්‍රියාත්මක වන්නේ අන්ධයකු ලෙසිනි. සිත් ඇති වී නැති වී යන ආකාරය සිතින්ම දැක ගැනීමට උත්සාහ කිරීමෙන් සිත නිසල කිරීමට හැකි වෙයි. සිත නිසලව පවත්වාගත හැකිවන දවසට කර්ම රැස් නොවේ. සිත ඇලෙන්නේ ගැටෙන්නේ කවුරුන් සමඟද යන්න නුවණින් විමසා බලන්නේ නම් මේ සිත නිසල කළ හැකිවනු ඇත. දමනය කළ හැකිවනු ඇත. උදාහරණයක් වශයෙන් රූමත් තරුණියක් පාරේ ගමන් කරමින් සිටින්නේ යැයි අපි සිතමු. එම රූපය ඇසින් දැකීමත් සමඟම තමන්ගේ සිත ඇලෙන්නේ ඒ රූමතියගේ සිරුරේ නොවේ. ඇය කිසිවක් නොදනී. ඇය පාරේ ගමන් කරමින් සිටින්නීය. සිත ඇලෙන්නේ ඇගේ රූපයේ නොව සිත නිර්මාණය කරන සිතිවිලි සමඟය.

ගැඹුරු අවිද්‍යාවක් අප තුළ පවතී. මේ අවිද්‍යාව නිසාම පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් ඇතැයි අප මුලාවෙන් කටයුතු කිරීමට පෙලඹී සිටී. මෙම සත්‍යය අවබෝධ කරගැනීමට සිත අකමැතිය. මන්දයත් මම දියවී යන නිසාය. අනන්‍යතාවයක් ගොඩනඟාගෙන මම ඝන වී සිටින්නට කැමති නිසාය. ස්කන්ධ පංචකය තුළ ආත්ම ස්වභාවයක් නැත ආත්ම ස්වභාවයක් තිබුණි නම් ස්කන්ධ පංචකය කැමැත්තට අනුව ක්‍රියා කරවීමට හැකිවනු නොඅනුමානය. නිත්‍ය නොවන ජක් සහිත ආත්ම නොවන හේතුප්‍රත්‍ය ක්‍රියාදාමය පුද්ගල ස්වභාවයක් ආරූඪ කරගෙන තිබුණද එය මායාවක් බැව් ප්‍රඥාව අවදි වූ විට අවබෝධ වනු ඇත. සැමට ප්‍රඥාව පහළ වේවා.

No comments:

Powered by Blogger.